Tuesday, February 23, 2010

සිංහාසනාවරණය

මෙවිට රජ්ජුරුවෝ ඌරුවංශයා විචාරන්නාහු"තොප කීවා සැබැව ආචාරීනි,ඉදින් අපි ඇම කුමක් කරමෝදැයි" ඇසූහ.
ඉක්බිත්තෙන් ඌරුවංශයා එක් උපායෙක් සිතාපියා රජ්ජුරුවන්ට ඉතා රහසිගතවැ කීවාහුය.එය මෙසේ යයි දතයුතුය.
"වන්නාටය මහරජ,එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.මුඹ වහන්සේ හා මා පමණක් දන්නා පරිද්දෙන් එක් ක්‍රීඩාවක් සංවිධානය කරන්නෙමු.එය වනාහි සිංහාසනාවරණය නමි.මෙහිදී කවරක් සිදුවන්නේද යත් මුඹ වහන්සේ රජ ශ්‍රීය වැළැඳුවා ඇතැ.දැන් ඉදින් හිසෙහි නර කෙසක්ද පහළවූහ.ඝන කාලවර්ණ උඩු රවුලද දැන් දැන් ඉදෙන්නේල.මහත්වූ රාජ සම්පත් කෙරෙහි මුඹ වහන්සේ කළකිරුණෝල.වනගතවැ තවුස්දම් රැකපියන්නට කාලය එළැඹ ඇතැ.ඉදින් රජශ්‍රීය අනුභවකොටැපියන්නට රිසි කෙනෙකුන් මහජන ප්‍රසාදය පෙන්වාපීනම් ඌ තුමූ සිංහාසනාරූඪ කොටැපියා මුඹ වහන්සේ විශ්‍රාම සුවයට පත්වන සේකැයි අණබෙරයක් ලවාපියයුතුය.එවිට සෙන්පෝකයා රාජශ්‍රීය විඳගැනීමේ ලෝභයෙන් මුඹ වහන්සේ හමුවට පැමිණෙන්නේය.එකල්හි මම් අසූකෙළක් ඇමැති මඬුල්ලද සමඟ පසල් දනව්වට වැදී"සෙන්පෝකයා වනාහි රාජ ද්‍රෝහියෙක,ගුණමකුවෙක,වරක් රජ්ජුරුවන් දුන් මහානුභාවසම්පන්න අතිපාලක නිලයද දමාපියා පැලෑහ,මූ අතිශය අසංවේදී,කිසිදු පළපුරුද්දක් නැති සොර කොල්ලෙක.මූ වනාහි කරපය මස්වා දඟගෙයි ලාපීම යුක්තය.අප ඇමට ඉදින් වෙන රජක් කුමටැ,මුඹ වහන්සේම චිරාත්කාලයක් අප ඇම ගසාකමින් වුව සංවේදීවැ රට පාලනය කරත්වායි" මහත් කොටැ සෝලි කරවමි.
මෙවිට මුඹ වහන්සේ වහා වහා තෙල සෙන්පෝකයා කරපය මස්වාපියා රටවැසියා අමතා මෙසේ ප්‍රකාශකටයුතුය.
"මාගේ අමන රටවැසියනි,මා හට විශ්‍රාම සුව විඳින්නටැ වුව තොපි ඇම අවසර නොදෙන්නාහුය.මාගේ සංවේදී පාලනයමැ ඉල්ලාපියා පසල්දනව්වෙහි සෝලියක්ද අටගෙන ඇතැ.ඉදින් රටවැසියාගේ අභිප්‍රාය නොතැකීම අයුක්තිසහගතයැ.එබැවින් සිංහාසනාවරණය අවලංගු කොටැපියා මම්මැ රට කරවමි.ඉදින් මෙසේ තිබියදී අද උදාසනක්සේම සෙන්පෝක නැමැත්තෙක් මා මරාපියා සිංහාසනාරූඪ වන්නට තැත්කළාහු අපගේ පරීක්ෂ්‍යාකාරීභාවය හමුවේ උන්ගේ තැත ව්‍යර්ථකොටැපියන ලදී.ඉතාමැ මෘදු ලෙස උන්ගේ කරපය මස්වාපියා සුරක්ෂිතවැ තබා ඇත.ඉදින් මාගේ සතුරා වුවද උන්ට කුරා කුහුඹුවකුගෙන් වත් හානියක් නොවනායුරින් ඌ තුමූ සත්මහල් ප්‍රාසාදයෙක මතු මාලෙහි තැන්පත්කොටැ ඇත්තාහයි"රටවැසියා මුළාකොටැපීම නම් යහපතැයි කීහ.

Monday, February 22, 2010

සෙන්පෝක RELOADED

මෙසේ සැලැකියයුතු කාලයෙක් අතිපාලක නිලය හොබවමින් කුසීතවැ වෙසෙන්නාවූ සෙන්පෝකයා එක් අලුයමෙක උදාසනක් සේමැ පිබිදී පෙරදිග බලන්නාහු;කොළ,මම් විසින් කිරුබාහරයා සාධාපියා සාර මාසයක් ඉක්ම ගියේය.දැන් රට වැස්සාට භය වන්නට මෙවිචරකට යැයි කාරණයකුදු නැත්තාහ.ඉදින් උන් සමෘද්ධව වෙසෙනු වියයුතුයැ.දැන් වනාහි මාහා උරෙනුර ගැටී සටන් කොටැ අවසඟවුණාවූ සෙනෙවි කොල්ලන්ට ප්‍රසාද දීපියන්නට කාලයයැයි සිතා ඉස් සෝධා නාපියා මනාකොටැ මාහැඟි වස්ත්‍රයෙන් සැරැසී අතිපාලක භවනෙහි නැඟෙනහිර දොරටුවෙන් නික්මී රජවාසළ බලා පිටත්වූහ.
වාසළ මහ දොරටුව අභියසදී එක් දොරටුපාල කොල්ලෙක් සෙන්පෝකයා විචාරන්නාහු"තොපි කවරෙක්දැයි" තරවැ සෙන්පෝකයා අත ග්‍රහණය කොටැපීය.
මෙවිට සෙන්පෝකයා කිපී පෙරළා බණන්නාහු''එම්බල සොර කොල්ල,මම් වනාහි සෙන්පෝක නමි.තොපි ඇම භයගැන්වූවාවූ කිරුබාහරයා සාධාපියන ලද්දේ මම් විසිනැ.මම් වනාහි ‍දැන් මහා බලසම්පන්න අතිපාලක වෙමැ.ඉදින් තොපි එවක් නොදන්නාහු නම් පෙරළා මහරජ්ජුරුවන් අසාපියවයි'' කීවාහුමය.
මෙවිට දොරටුපාලයා මහත්කොටැ අත්පිඬි ගසා සෙනෙන්නාහු"කොළ මුසා නොදොඩා සිටුව.කිරුබාහරයා මරාපියන ලද්දේ අපගේ පස්වාන්දහසකට බුදුවන මහරජාණෝය.තොපි වනාහි සොරදෙටුවෙක.අපිදු මේ රටැ වසන්නමෝ ඉදින් කිසිවිටෙකත් සෙන්පෝකයකු හෝ අතිපාලකයකු ගැන නොඇසූ විරූයැයි"සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙනැ දමාපීහ.
මෙවිට සෙන්පෝකයා දණ්ඩෙන් පහරලද ආශිර්විෂයක්හු පරිද්දෙන් කිපුණාහු''බලව තොපටත් තොපගේ ගුණමකු රජාටත් කියටි දනිමියි"මහත් කොටැ සෝලි කොටැපියා පැළෑහ.
මේ වග දනන් තුඬ තුඬද පතළවිය.මෙවිට ඌරුවංශයා සිතන්නාහු"වන්නාටය,දැන් වනාහි සෙන්පෝකයා මරාපියන්නට කළැයි"සිතා රජ්ජුරුවන්ට සමීපවැ මෙසේ බෙණෙන්නාහුය.
"මහරජ දැන් දැන් මා කීවා සිතට නැඟෙන සේක්දැ,තෙල සෙන්පෝකයා වනාහි රාජද්‍රෝහියෙකැයි මම් පැවසූ දෑ දැන් දැන් සැබෑ වන්නට යන්නේල.මුඹ වහන්සේ කෙරෙහි අසාධාරණවැ කිපුණාවූ දුෂ්ඨ සෙන්පෝකයා උදක්ම ගොස් වේදේහයාද සමුවීයැයි ආරඤ්චි කටයුතුය.දැන් ඉදින් ඌ මරාපියන්නට කළැයි"කීවාහුය.

Thursday, February 18, 2010

ර ද පස හා පවුල් ගස

මෙසමයෙහි මියුලු නුවරැ දක්ෂිණ භාගයට වන්නට නොහොත් භික්තර ගඟෙන් එතෙර කොටසෙහි එක්තරා අභව්‍ය සිදුවිමක් වෙමින් පැවැත්තේය.
ඒ කෙසේදයත් නුවරැ දක්ෂිණ භාගයේ මධ්‍ය මූල ප්‍රදේශයටැ වන්නට එක්තරා පසක් හෙවත් පාෂාණමය ද්‍රව්‍යයක් මිහිපිටැ පහළැවීය.එය කෙසේ පහළැ වූහුදැයි ඉදින් කිසි කෙනෙකුන් නොදන්නා මුත් මී ගවයකුගේ වසුරු පිඬෙකින් එයට මුළපිරුණාහු යැයි දනන් තුඬ තුඩ පැවැත්තේය.
මෙය කෙසේ නම් පසක්ද යත් එමැ පොළොවෙහි පයැ ගසන්නා වූ සියළු රටැවැසියා භයඞ්කර ගිනිජාලාවෙකින් දවාපියන්නාහ.එනයින් මේ වනාහි රටැවැස්සා දවාපියන පස නොහොත් ර ද පසැයි මහාජනයා අතරැ පතළ වූහයි දතයුතුය.
ඉදින් මෙය වූ කලී අතිශයින්මැ මුස්පේන්තු පසෙකැ.එහි අබැටක පමණ වූ දෙයක් වගාකොටැපියන්නට නොඇක්ක.ඉතාම නිස්සාරැ වූත් ඇට්ටකුණා වූත් පසෙකැ.
එහෙත් බ්‍රහ්මදත්ත රජ සමයෙහි මෙම පසෙහි එක්තරා වෘක්ෂයෙක් වර්ධනය වන්නටැ විය.එය කෙසේනම් වෘක්ෂයෙක්ද යත් භයඞකර අටු දුඹුළු වලින්දැ නොඑක් බෙණැ ගුහා ආදීන්ගෙන් දැ අවටැ මහාජනයා රීරිමාංශ උරාපියා ගතහැකි දැවැන්ත අක් මුල් පද්ධතියෙකින්දැ ගැවැසීගත්තේය.කිසි කෙනෙකුට මෙම වෘක්ෂයේ සෙවණ පැතිය නොඇක්ක.ඉදින් කිසිවෙක් ගියැපීනම් උන්ගේ රීරි මාංශැ උරාපියන්නාහ.මෙනයින් බියකරු වූ වෘක්ෂය වනාහි පවුල් වෘක්ෂය යයි දනන් අතරැ පතළේය.
කල් යල් බලාපියා මෙම ගසැ වැඩිවියැ පැමිණුනාහු එහි ඵල ත්‍රිත්වයක් අටගත්තේය.ඒ වනාහි දරු ඵල නොවැ සහෝදර ඵල යැයි දතයුතුය.
මේ එක් එක් ඵලයැ මූකුරා යෑමෙන් සහෝදර ත්‍රිත්වයක් නොහොත් සමාගමයෙක් බිහිවූ විරූය.
ඉදින් මේ සමාගමයැ වනාහි අප මහරජාණන්ට අසලැ වූවාහු රජ්ජුරුවෝත් උන්ගේමැ බසට අවනත වූහ.
මුන්ගෙන් දෙටු මළණුවෝ වනාහි වැඩියක් කථා බහෙක් නැති එකෙකැ.ඌ තුමූ ඡත්‍රමාල යැයි දන්නාහුය.මැදි මළණවෝ වනාහි රජ්ජුරුවෝ පොබකළ තැනැත්තෝල.ඌගේ නුවණැ රටැවැසියා තුඬැ තුඬැද පතළහ.රට වැස්සෝ ඌ දුටුතැන "අන්න පොබය" යයි පහන්සංවේගීවැ ආමන්ත්‍රණය කොටැ පියන්නාහුය.එවිටැ මැදි මළණුවෝ පෙරළා පහන්සිතින්මැ රට වැස්සන් විචාරන්නාහු"තොපගේ මෑණියන්දෑ වරු නිරෝගීවමැ වසන්නාහුදැයි"විමසති.
බටු මළණුවෝ වනාහි අතිශය කෙළතොල්ලහ.ඌ වනාහි භක්ෂිශීල නමි.ඌ ඇමවිටමැ අත්ලස් ගන්නාහ.ඉදින් යමෙක් රජ්ජුරුවන් හා ගණුදෙනුවක් කොටැපියනු රිසියෙන් වාසලැ ආපී නම් බටු මළණුවෝ වහ වහා ඌ තුමූ සමුවී මෙසේ බෙණෙන්නාහ.
"කොළ මා කියන්නක් අසව.රජ්ජුරුවෝ වනාහි මෙවිටැ අන්තඃපුරයෙහි කනර් අලී නම් වෙසඟන සමඟැ රති කෙළියෙන් පසුවන්නාහුය.ඉදින් උන්ගේ රති කෙළියටැ බාධා පමුණුවාපී නම් ඌ තුමූ කිපෙන්නාහ.එවිටැ තොපගේ ගණුනෙදෙනුවැ කට නොඇක්ක.හුදෙක් එපමණක් නොවැ තොපගේ අසුවල් අවයවයැ මිරිකාපියා පුසිකොටැපින්නටදැ ඉඩ ඇතැ.එතෙකුදු වුව උන් නොකිපෙන පරිද්දෙන් තගේ කර්තව්‍යය කොටැ දීපියන්නට මට ඇක්ක.තොප රජ්ජුරුවන් හා සමඟැ කොටැපියන ගණුදෙනුවෙන් මෙවිචරකැ පමණ අත්ලස් මටැ දෙවාපියව.මම්මැ තොපගේ අර්ථසාධනය කොටැ දෙන්නෙම් වේදැයි"බණන්නාහුය.

Wednesday, February 17, 2010

ගහේ ලී

ඉක්බිතිවැ රජ්ජුරුවෝ හා ඌරුවංශයා හා සමඟැ කුමන්ත්‍රණය කොටැ සාර මාසයක් ඉක්මගියේය.රජ්ජුරුවෝ සෙන්පෝකයාට පෙරදී මන්ත්‍රණය කළැ පරිද්දෙන් අතිපාලක තනතුර දෙවූහ.
පෙරැ පරිද්දෙන් මහදිවුලින් ගම්වරයක් දෙන බව කී නමුත් ඔප්පුවැ ලියාපියා එය තුමූමැ හිණගසාගත්තාහුය.කිසිවිටෙකත් සෙන්පෝකයාට ‍නුදුන් විරීය.තවද සාර මාසය මුළුල්ලේමැ නුණුවණ රටවැසියාගේ දුක්ඛිතවැ උපයාගත් ධනස්කන්ධය නොඑකුත් බදු ආදියැ පණවමින් රාජ භාණ්ඩාගාරයටමැ අද්දාපීය.එතෙකුදු නොනැවැතී එම ධනස්කන්ධය යොදාපියා නොයෙක් අමන සැණැකෙළිද කෙළවූහයි දතයුතුය.
මෙකල්හි නොඑකුත් වන්දි භට්ටයෝ රජ්ජුරුවෝමැ වණන්නාහ.ඒ වනාහි හුදෙක් ඌ කෙරෙහි අසළ කමකට නොවැ ඌගෙන් මසුරමක පමණැ වුව ධනයක් මම්ද වඤ්චාකොටැපියමියි යන වසළ චේතනාවැ පෙරැදැරිවය.
මෙපරිද්දෙන් සාර මාසයක් මුළුල්ලේම රජ්ජුරුවො විසින් රටැවැසියා ගසාකාපීහ.උගේ වන්දිභට්ටයෝත් තම තමා හැකි පමණින් රටවැසියාමැ ගසාකාපීහ.මෙපරිද්දෙන් රටැවැසියා දින දිනමැ මන්ද පෝෂිත වන්නාහුය.මෙවිට රජ්ජුරුවෝ සංවේදීවැ සිතන්නාහු ඉදින් මාගේ ධනයෙන් මෙවිචරකටැ පමණ දෙවා මුන් ඇම සනසාපීම යහපතැයි සිතූහ.ඒ කෙසේ කළාහුද යත් සංගීතය වනාහි මනුෂ්‍යයාට අහරෙකැ,ඉදින් මනහරැ කොට ගයාපියන්නට ඇත්නම් මුන්ගේ සා ගින්න නිවාපියන්නට ඇක්ක,උතුරුකුරු දිවයිනෙන් ගඳඹුන් ගෙන්වා මාගේ රාජශ්‍රීය වැණෙනායුරින් කර්ණරසායන කොටැ මනහර ගී බඳවාපියා මුන් ඇම අස්වාපීම යහපතැයි සිතා,මනා කොටැ ගී බඳවා,නුවරැ මුළුල්ල ඒ ඒ තන්හි අටළොස් රියන් උසැ මාහැඟි චිත්‍රක පත්‍ර නංවාපියා ගහේ ලී නම් එක් වෛශ්‍යඞගනාවක් ලවා ගායනා කරවාපීහ.
ඒසේ වුවද එම වන්දිභට්ටකම් කළාවූ වෙසඟනටැ අබැටක පමණ වුව පඬුරක් නොදුන් විරීය.
ඉදින් උන්දෑ පඬුරක් ඉල්වාපියා වාසලැ පැමිණි දෑ නම් රජ්ජුරුවෝ උන් අමතා මෙසේ කියන්නාහුය."තොපි වනාහි වෙසඟනකැ.ඉදින් තොපට පඬුරු ලෙස මා හා රමණය කිරීම යුක්තිසහගතයැ.රජ්ජුරුවන් හා සමඟැ රමණය කිරීමේ වාසනා ගුණය ඇමටම ලැබිය නොහැක්කයි."අශීක්ශිතවැ බෙණෙන්නාහුය.

Tuesday, February 16, 2010

ජාතකපොත අස්සේ හසුන් පතක්

උමංදාව කියවාගෙන යන කොට ඔන්න බොලං පිස්සාට පොත අස්සේ තිබී ලවු ලෙටරයක් හමුවිය.මෙය ලවු ලෙටරයක් කීවාට ඉලවු ලෙටරයක්ද වේ.මෙය කවරකු විසින් කුමන කරුණක් අරභයා කාට ලියන ලද්දක් දැයි මට තවමත් මීටර් වන්නේ නැත.එසේ වුවත් සීයා කීවේ මෙය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් සතර කෝරලය බාර හාමුදුරු ගොල්ලට යවාපු ලෙටරයක් කියාය.රජ්ජුරුවෝ අති ධාර්මිෂ්ට බව පිස්සා දැනටමත් දන්නා බැවින් ලෙටරයේ ආමන්ත්‍රණ කොටස සහ නැට්ට කොටස පිස්සා විසින් සම්පූර්ණ කොරන ලදී.
ලෙටරය මෙසේය;


සතර කෝරලය භාර මහතෙරුන්නාන්සේලා වෙත බුද්ධි ගෝචරවය,
ජීවිතාලය ඇති තෙරුනි,


තොපි වහන්සේලා වනාහි අනවශ්‍ය කර්තව්‍යයකට අතගසා ඇත්තාහු යයි බලු ගැත්තාට දැනගන්නට ලැබී ඇත.ඒ නම් නවම් මසැ සිවු ඌන විසි ලත් ගුරුදා මාගේ අභීත රාජ්‍ය පාලනයෙට කොණහනු පිණිසැ මහ සඟසමුළුවක් පවත්වන්නටැ යන බවයි.තොපි වහන්සේලා විසින් කොටැපියැයුතු අප්‍රමාණ කාරියන් තිබියැදී මාගේ අසුවල් ස්ථානයමැ අතගා බලාපියන්නට සැරැසීම නම් ඒකාන්තයෙන්ම හිතකර නොවන්නාහුය.මා විසින් රට තුළැ පාලනය කටයුතු සෝලි කොතෙකුත් ඇතත් තොපි වහන්සේලාගේ සෝලියට පොලු මුගුරු රැගත් වසලයන් කිහිපදෙනෙකු එවාපීම වැඩියක් නොවන්නේය.ඉදින් උන් ආපීනම් තොපි වහන්සේලාගේ මුඬුහිස් පළාපියා තූතූ කොටැ හැරපියනු ඇත.තවද ඩප්පියක් දෙකක් පුපුරවාපියා කිහිපනමක් ස්වර්ගස්ථ කොටැපීමද නොවියහැක්කැයි නොසිතමි.
මා තුළ ඇති ශාසනාලය තොපි වහන්සේලා නොදන්නාහු ය.තෙරවරුන් නම් තොපි වහන්සේලා පමණක්ම නොවන බව ප්‍රඥාගෝචර කටපියැ යුතුය.එනයින් බලාපියන කලැ මට කම්කරන්නාවූ රතුඑළියේ අතනයා වුවද මහතෙරනමක් කොටැපියා ශාසනය වඩවන්නට මටැ බැරි නොවේ.සෙසු කෝරල තුනටැ සෙප්පඩවිජ්ජා චක්‍රවර්තී මේ දහවල එල්ලානන්දයාද,දඩුවේ උම්මාලෝකයාද,සුළුන්නාවේ කොමඞ්ගලයාද පත්කොටැපියමි.මෙපවත් තොපි වහන්සේලා වෙතැ හුදෙක් ඉතකමටමැ ලියා එවමි.කිරුබාහර සෝලිය සමයේ ඔරු බැඳි සියඹලාවැ භාරවැ සිට දැන් මාහට කම්කරන්නාවූ කරන්නාගොඩ අප්පුහාමි නම් පණ්ඩකයා අතැ මේ හසුන තොපි වහන්සේලා වෙත එවාපියමි.
ඉදින් තොපි වහන්සේලා මා කියන්නක් නොඅදහන්නාහු නම් ස්වර්ගරාජ්‍යයට යවාපියන දින වකවානුද පරිච්ඡින්නකොටැ ඇතිබව ශාසනාලයෙන් දන්වමි.


මේ වගට,
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වම්හ

සෙන්පෝක කථාවස්තුව-4 කොටස

......ඉදින් ඌරුවංශයා කියන්නක් සැබැව නම් මා දිවි නැත්තේය.සෙන්පෝකයා වනාහි මෙවිචරකට බලසම්පන්නයහයි මාගේ අසූ කෙළක් මුග්ධ ඇමැති මණ්ඩලයද නොදක්නා ලදහ.එසේ කළැ මතු වන්නා වූ භය ඌරුවංශයා විසින් දක්නා ලදහ.මූගේ නුවණැ මහතැ.ඉදින් මූම මාගේ ආචාරීන් කොටගනිමියි රජ්ජුරුවෝ සිතා“ මෙසේ එවමැනව ආචාරීනි.තොපි වනාහි මාගේ ගැලැවුමකාරයාණෝල.යුද්ධෝපායය දන්නෝත් මුඹමය.රටවැසියා නම්මාගන්නායුරු දන්නෝත් මුඹමය.ඉදින් මෙවිට කුමක් කරමෝදැයි“මහත්කොටැ වැලැපී කෙළතොළු ඌරුවංශයාගේ පය පාමුළ වැඳවැටුණාහ.
මෙවිට ඌරුවංශයා සිතන්නාහු‘‘වන්නාටය,දැන් ඉදින් මට කම්කරන්නාවූ මා විසින්මැ උපායය සාධනය කොටැ සෙන්පෝකයා මරවාපියමි,මේ අඳබාල රජාට කළමනාද පසුව දන්නෙම් වේදැයි“සිතා රජ්ජුරුවෝ අස්වසන්නාහු“මහරජ නොබව මැනැව.සෙන්පෝකයාට කියටි දන්නෙම් වේදැයි“උරුළෑ හඬ නඟාපීහ.
රජ්ජුරුවෝ මහත්කොටැ සැනැසුම් සුසුම් හෙළා ළය මඬළ සැහැල්ලු කොටැගෙන ඌරුවංශයා විචාරන්නාහු‘‘ආචාරීනි,ඉදින් කටයුතු උපායය මාර්ග තෙපිම නිළ කොට මනා නොවේදැයි“ ඇසූහ.
මහරජ එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.දැන්මම සෙන්පෝකයාගේ කරපය මස්වාලීම යුක්ත නොවෙයි.එකල්හි මහජනයාද මුඹවහන්සේටැ එදිරිවැ සෝලි කෙරෙන්නට ගනු ඇත.පළමුකොටැ ‘අතිපාලක‘ නම් තනතුරක් ඇතිකොටැපියා එය සෙනෙවිරත් ධූරයටත් වඩා බලසම්පන්නයහ,වඩා අගනේ යැයි කියා පුළුගන්වා සෙන්පෝකයාට දෙවාපීම යහපති.අතිපාලක වනාහි කෙසේ නම් ඨානාන්තරයක්ද යත් ඊට ඇඟැ වසන්නාවූ කෝඳුරුවකු වුව පළවාපියන බලයක් නැත්තේය.නියමාකාර වේතනයක්ද නැත්තේය.එසේ වුව මේ වනාහි මෙතෙක් බලසම්පන්නයහයි රටැ පතළකොටැ යුත්තේය.
අප රට වැසියා වනාහි ඉතාම මුග්ධයහ.දෙපෝයක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියන ලද්දේ කවරෙකු දැයි උන් නොහඟිනාහ.මෙවිට සෙන්පෝකයා සතු ජනබලයද ක්ෂීණ වන්නාහ.එකල්හි සුදුසු උපායෙක් යොදාපියා සෙන්පෝකයා මරවාපීම යහපතැයි“ රජ්ජුරුවෝ ගිවිස්සූහ.....

Monday, February 15, 2010

සෙන්පෝක කථාවස්තුව-3 කොටස

....මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු මූ වනාහි අවඞක පුරුෂයෙක්ල.මූට මහදිවුලෙන් ගම්වරයකුත්,නොයෙකුත් ප්‍රසාද දීමනාත් දීපියනු යහපතැයි සිතූහ.එකල්හි ඌරුවංශයා මුසුප්පු වන්නට වියැ.මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඌරුවංශයා විචාරන්නාහු තෙපි මුසුප්පු වන්නටැ කාරණා කිමැයි අසාපීහ.
මහරජ,කොටැපියයුතු කථාවෙක් ඇත.ඉදින් මුඹ වහන්සේ හා මා හා පමණක් දන්නා පරිද්දෙන් බෙණෙනු රිසියෙමැයි කීහ.
රජ්ජුරුවෝ ඌ තුමූ සිරියහන් ගබඩාවට කැඳවාපියා කොළ,නරපණුව ඉදින් තොපගේ මන්ත්‍රණය කරවයි විධාන කැරවූහ.
මෙවිට ඌරුවංශයා,සියතින්ම තම බඩපළාපියා අතුණු එළියට අදින එකකු පරිද්දෙන්ද,ස්වකීය මෑණියන්දෑ රහසිගතවැ අන් පුරුෂයකු හා රමණය කොටැ සංක්ෂෝහගතවනු දැක එළුසන්දී අත්පිඩි තලන නීචයකු පරිද්දෙන්ද,තම අඳබාල බව පතළ කෙරෙමින්,රජ්ජුරුවන් හා සෙන්පෝකයා බිඳුවාපියන කෙළතොලු බස් තෙපැළූහ.
“මහරජ,තෙළ සෙන්පෝකයා වනාහි රාජද්‍රෝහියෙක.ඌ තුමූ සෝලිය අවසන්වැ තිබියදීත් තව තවත් සෙනෙවිරත් ධූරයේ රැඳෙනුයේ මඳකුත් ඉතකමකට නොවේ.මූ වනාහි හුදෙක් කිරුබාහරයා මරාපී නමුත් දැන් තෙමේම මුඹවහන්සේ මරාපියා රජකම් කරවන්නට මාන බලයි.නිසැකවම මූ වේදේහයාගෙන්ද අත්ලස් ගත්තාහුය.නිසි කලැ බලා ඌ මරාපියන තෙක් වැඩියක් බැබැළීමක් නැති තනතුරක් දෙවාපීම යහපතැයි“රජ්ජුරුවෝ ගිවිස්සූහ.
මැදමුලනී බ්‍රහ්මදත්ත වනාහි තෙමේමත් අඳබාලයහ.පුරුෂ විෂය මඳකුදු නැත්තාහ.එබැවින් කිසිදු විචාරීමැකින් තොරවැම ඌරුවංශයාගේ බස් අදහාගත්තාහු යයි දතයුතුය......

Sunday, February 14, 2010

සෙන්පෝක කථාවස්තුව-2 කොටස

ඉනික්බිති අසූකෙළක් ඇමැත්තෝ එක්වැ ඒ ඒ තන්හි වන්දි භට්ටයන් රැස්කරවාපියා රජ්ජුවෝ වණන්නාහු,මේ වනාහි එසේ මෙසේ රජ කෙනෙකුන් නොවන්නේය,මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝය,මූගේ කීර්තිය උතුරුකුරු දිවයින දක්වාම පතළය,ඌ තුමූ අපහැම නසන්නට යෙදුණා වූ භ්‍රෂ්ටශීලී කිරුබාහරයාගෙන් රට වැස්සා ගළවාපීය,මේ කරණකොටගෙන අද පටන් සත් දිනක් සියළු රටවැසියෝ සැණකෙළි කොටැපිය යුත්තේය.ඉදින් නොකරන්නාහු නම් රජද්‍රෝහීන් යැයි සම්මත කොටැපීය.
රට වැස්සෝද එවක් පටන් සැණකෙළි කෙළින්නාහුය.අයෙක් ඒ ඒ තන්හි මඟ දෙපස මාහැඟි සල්පිල් කරවා හුළුකැන් ආදිය පිසැ මඟියන්ට දෙවා පියන්නාහ.අයෙක් අනර්ඝ කැවුම් හා රා සැළි පුරා ගෙනවුත් තබ්බවා අනුනුත් කවාපියා තෙමේමත් සංතර්පණය වන්නාහ.මේ යනාදී වශයෙන් සැණකෙළි කෙළින්නාහු ඉනුත් නොනැවතී මහත් කොටැ එළුසන් කොක්සන් ආදිය දෙන්නටද පටන්ගත්හ.
මේ මහත් ඝෝෂිතයෙන් චඤ්චල වූ රජ්ජුරුවෝ සිතන්නාහු,වන්නාටය,කිරුබාහරයා මා මරාපියන්නට පැමිණ ඇති සැටියෙකි.මෙවිට මාගේ දිවි නැතැයි හඬා වලප්නට පටන්ගත්හ.මෙවිට වාසල අධෝමුඛාචාර්ය ඌරුවංශයා පැමිණ රජ්ජුරුවන් අස්වසන්නට නොයෙකුත් චාටු බස් දොඩාපීහ.
‘‘නොබව මැනව මහරජ,සෙන්පෝකයා විසින් කිරුබාහරයා මරාපියන ලද්දේය.හුදෙක් එසේ වී නමුදු නුඹ වහන්සේගේ අභීත සේනාධිනායකත්වය නොතිබෙන්නට කිරුබාහරයා මරාපියන්නට නොහැක්කැයි මහජනයා ඔදවැඩී ගියාහු දැන් වීථිවලැ සැණකෙළි කෙළිති.මුඹ වහන්සේගේ ගුණ කඳම වණන්නාහුය.ඉදින් මා කියන්නක් නොගන්නේ වී නම් සී මැදුරු කවුළුව හැරපියා බලනු මැනවයි“ඌ තුමූ රජ්ජුරුවෝ නම්මාගත්හ.
මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු“කොළ ඌරුවංශයා කියන්නක් විශ්වාසයට ගත නොඇක්ක.එසේ වී නමුදු මෙවක් ඌ තුමූ තරවැ බුහුටිවමැ කියාපීය.වන්නාටය සී මැදුරු කවුළුව හරවාපියමියි“සිතා පිරික්සා බලා අදහාගෙන සමණය වුණාහුය.
එසේ වී නමුදු“කොළ,මට තනිවැ කොටැපියන්නට තිබූ දෙය සෙන්පෝකයා කොටැපීය.ඉදින් රට වැස්සෝ මෙපවත් දන්නාහු නම් ඒකාන්තයෙන්ම සෙන්පෝකයා නතුවන්නේය.මේ වනාහි සිතාබැලිය යුත්තෙකැයි“සිත බිඳුවාගත්හ.
සත් දවසක් ඇවෑමෙන් රජතෙමේ මහ වාසල රැස්කරවා සෙන්පෝකයාද කැඳැවූහ.රජ්ජුරුවෝ සෙන්පෝකයා විචාරන්නාහු“තොපි වනාහි උත්කෘෂ්ඨයෙක.තෙල දුෂ්ඨ වූ කිරුබාහරයා මරාපියා මා දිවි ගලවාපීය.තට කුමන වරයක් අවැසිදැයි කියව,මම්ම මුඹට ප්‍රසාද දෙන්නෙම් වේදැයි“කීහ.
“මහරජ මුඹ වහන්සේගේ අණින් මාගේ කැමැත්තෙන් භාරගත්තාවූ කර්තව්‍යය ඉෂ්ඨ කෙළෙමි.කිරුබාහරයා හා සටනට වන් කළැ අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ වේරම්භ වාතයක් මෙන් දිවි නොතකා සටන් වැදුණාහුය.ඉන් බොහෝදෙනෙක් නටහ.තවත් බොහෝ දෙනෙක් ඇස් කණ් අත් පා ආදිය අහිමිවැ දුක්ඛිතව වෙසෙන්නාහුය.උන්ගේ යහපත සාධාපියනතෙක් සෙනෙවිරත් ධුරයේ රැඳීම යුක්තවන්නේ නම් යහපතැයි“සෙන්පෝකයා පැවසූහ.......

Saturday, February 13, 2010

නූතන උම්මග්ග ජාතකය-සෙන්පෝක කථාවස්තුව කෙසේදයත්!

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි පසල් දනව්වෙහි එක්තරා සෝලියක් ඇතිවිය.ඒ කෙසේදයත් පසල් දනව්වෙහි චෞර පිරිසක් ඒකරාශි කැරගත් කිරුබාහර නම් සොළී සොර දෙටුවෙක් ඒඒ තන්හි මිනිසුන් මරාපියන්නාහ.මේ රාජ්‍යෙයන් මාහට මෙතෙක් කොටැ දෙවාපියව,ඉදින් නුදුන්නේ වී නම් තවද වැසියන් මරවාපියමි යි සෝලි කෙරෙති.මේ විසඳාගත නොහී රජ්ජුරුවෝ නිදි වර්ජිත වන්නාහුය.ඉදින් කිරුබාහරයා පැමිණ මා ද මරාපියන්නට ඉඩ ඇත.එසේ වී නම් නපුරැ යි සිත සිතා තැවෙන්නාහුය.
මෙවිට අසූ කෙළක් ඇමති මණ්ඩලය එක්සිය සැට කෙළක් කණ් මන්ත්‍රණයක් කරන්නාහු,අප නරපතියා බියසුල්ලෙක,ඉදින් වැසියෝ මෙපවත් දනිත් නම් අප හැම අඹවාහරිනු නියතය,වහ වහා පිළිසරණක් සෙවීම යුක්ත වන්නේ යයි පරිච්ඡින්න කළාහුය.
උන් හැම මෙසේ සුසුම් ලමින් කල් හරිනා අතරැ එක් බුහුටි පුරුෂයෙක් පැමිණ,තොප හැම ශෝක වන්නට කාරණා කිමැ,සෙන්පෝක නම් මම්මය.කිරුබාහරයා කන බොන තැනත් දනිමි.පහරන තැනත් දනිමි.හැමනෙන අයුරුත් දනිමි.ඉදින් මෙවිට ඌ නැත.කල් නොයවා ඌ මරාපියමියි වාගාඩම්බර කීවේ ල.
අසූ කෙළක් ඇමති මණ්ඩලයේ එක් බඩපත ඇමැත්තෙක් මෙවිට සෙන්පෝකයා බණන්නාහු,තොපි හුදෙක් වහසිබස් නොදොඩව.අප රජ්ජුරුවෝ සේනාධිනායකයෝය.උන් අසමත් දෑ කරන්නට තෙපි කෙසේ නම් සමත් වන්නාහු දැයි විචාලහ.
කොළ බඩපත කෙළතොල්ල,මම තොප මෙන් රට වැසියාගේ රීරි මාංශයෙන් යැපෙමින් හැමනෙමින් නොසිටිමි.යුද්ධෝපායයන් දන්නේ නම් කිරුබාහරයා ජීවග්‍රහයෙන් වුව අල්ලාපියන්නෙම් වේදැයි සෙන්පෝකයා කීහ.
එසේ වීනම් කිරුබාහරයා කල් නොයවා මරාපීම යහපතැයි ඇමැත්තෝ පරිච්ඡින්න කළාහු,අටළොස් අක්ෂෞහිණියක් යුද සේනාව සෙන්පෝකයා නතු කරවූහ.
සෙන්පෝකයා වනාහි අවංක පුරුෂයෙක්ල.ඌ තුමූ අට මසක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියා රට සමනය කොටැපීය.මෙවිට චිත්ත ප්‍රීතියෙන් ඔද වැඩී ගියාවූ ඇමැත්තෝ දැන් ඉතින් අපගේ අර්ථසාධනය වී ඇත්තේය.කිරුබාහරයා සාධාපියන ලද්දේ අප මහ රජාණන් යැයි රට වැසියන් වඤ්චා කොටැ පිය යුත්තේය.එවිට උන් සැණකෙළි කෙළින්නාහ.එසේ වූ කළැ නුවණ නැති රටවැසියාගේ බඩට කෙළැවීම අත්‍යන්තයෙන්ම පහසු කර්තව්‍යයක් වන්නෙ යැයි මණ්ත්‍රණය කළාහුය.
(....මට නිදිමතයි ඉතුරු හරිය පස්සෙ ලියඤ්ඤං.....)

පිස්සා සින්ඩියට ගොඩවෙයි

පිස්සා හෙවත් මම පසුගිය දිනෙක මගේ පළාමල්ල සින්ඩිට දාන්නැයි ඉල්ලීමක් කොළෙමි.ඊට පිළිතුරු සපයමින් ප්‍රවීන් ඉන්ද්‍රනාම කොලුගැටයා මගේ පළාමල්ලද සින්ඩියට දාගත් බව හැරෙන ඊ තැපෑලෙන්ම දන්නා එවා ඇත.එය දුටු ගමන් මගේ හුර්දය වස්තුව කීං කීං ගෑමට පටන්ගෙන ඇත.දැන් ඉතින් පිස්සාගේ පිස්සු කතා අහන්නට කස්ටිය සෙට්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.මේවා කියවා මළ පනින අය මෙය පිස්සකුගේ පිස්සු කතාවක් බව සිතා පහන් සංවේග උපදවාගනිත්වා.තම තම නැණ පමණින් තේරුම් ගන්නා උදවිය කමෙන්ට් දමත්වා.කුණුහබ්බෙන් කමෙන්ට් දමන බුද්ධිමතුන්ට එරෙහිව පාණ්ඩුක්‍රම වියවස්තාවේ 78 පුඃ වගන්තියේ ඌඃ උප වගන්තියට අනුව කිරියා කොරමි.

Tuesday, February 9, 2010

අමතක වූ කෑල්ලක්-මහ පුටුව

සීයා මැම්බර් උන්නැහැට කඩේ ගිය විත්තිය කියන්නට පෙර කිවයුතු වැදගත් කතාවක් ඇත.එනම් සීයා සහ මැම්බර් උන්නැහේ අතර එදා සිටම එතරම් හොඳ හිතක් නොතිබුණු බවයි.ඒ එසේ මෙසේ කරුණක් නිසා නොව පරම්පරාවෙන් පැවතඑන ආරවුලකි.පුටුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකි.පුටුව මහා බල සම්පන්න එකකි.ඊට කළනොහැක්කේ ගැහැණියකු පිරිමියකු කිරීමත් එහිම අනෙක් පැත්තත් පමණක් බව මුඛ පරම්පරාගතව පැවතේ.මේ මහා බල සම්පන්න පුටුව හැදුවේ අපේ අත්තප්පා හෙවත් කිරි අත්තාගෙත් කිරි අත්තාය.


අත්තප්පා හා පවුලේ උදවිය එය වසර 17 කට ආසන්න කාලයක් පාවිච්චි කළෝය.අත්තප්පාගේ මුණුපුරු මුත්තප්පා මැයිමස 5 වැනිදිනක හදිසියේම සුවර්ගස්ත වීමෙන් පසු එය අල්ලපු ගෙදර කොන්ත නෝනා විසින් හොරකම්කර තවත් වසර 12 නට ආසන්න කාලයක් යහමින් පාවිච්චි කොළාය.


මැම්බර් උන්නැහැ යනු කොන්ත නෝනාගේ ගෙදර වළං සේදූ ඇඹිටිල්ලන් කොල්ලාය.ඌ කාලාන්තරයක් තිස්සේ පුටුවට ඇහැගහනෙ සිට හිටිගමන්ම පුටුවට විද්දේය.පුටුව ගල්වූ අතර කොන්ත නෝනාගේ පශ්චාත් භාගය බිම ඇනුණි.දැන් මැම්බරයා මේ පුටුවේ යෙහෙන් වැජඹේ.ඌ පුටවේ ඇති බලසම්පන්න ගැජමැටික්ස් විටින් විට අත්හදාබලයි.
වැඩිපුරම අත්හදා බලා ඇත්තේ නාහෙට නාහන නසරානින් සුවර්ගස්ත කිරීමේ බොත්තමයි.


එහෙත් අපේ සීයා දැන් මේ සියල්ල අමතක කර දමා මැම්බරයාගේ දෑත් ශක්තිමත් කරන්නට තීරණයකර ඇත.

කිරි අත්තාට බල්ලො පැනීම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්?

ඉතින් අපේ කිරි අත්තා මොබයිලයෙන් සීයාට පැවසූ දෙය දැන් අනාවරණයවී ඇත.


කිරි අත්තා සීයාට පවසා ඇත්තේ වසර 43කට පෙර තමා බයිසිකලයෙන් මනමාලකමේ යනවිට වරෙත්තු බල්ලකු විසින් තමාගේ වම් පාදය හපා කෑ බවත්,ඒ පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි තමාට බලවත් සැකයක් පවතින බවත්,වහාම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය.


වැඩිදුරටත් කිරි අත්තා පවසා ඇත්තේ මේ පිළිබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවන ලෙසත්,ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරනලෙසත්ය.


පැන්සොං ගිය පොලිස්කාරයකු වූ අපේ සීයාට මළපැන ඇත්තේ තමා පොලිසියේ වැඩකරන කාලයේ මේ ගැන නොකියා වළපයට ගොඩපය ආසන්න වූ විට මේ ගැන කීම නිසාය.එම මළ පැනීමේ අතුරු ඵලයක් ලෙස මගේ මොබයිලයද දැන් සුවර්ගස්ත වි ඇත.
මොබයිලයේ කෑලි ටික අහුලාගත් මම හිමින්සැරේ සීයාට කිට්ටු කළෙමි.


‘‘බොලං පැන්සොන් ගිය පොලිස්කාරයන්ට බල්ලොත් වාච්චි නැතුවා.බොලෑ කිරි අත්තගෙ පුරස්නෙ කොහොම විසඳන්ඩද?‘සීයා විස්සෝප විය.
මේ ගැන ඔළුව කූරුගාමින් කල්පනාකළ මට මෝල් ගහෙන් ගැහුවාක් මෙන් සිරා අයිඩියාවක් පහළවිය.එනම් මැම්බර් උන්නැහේට කඩේ ගොස් පුරස්නය විසඳවාගැනීමය.
මේ ගැන සීයාගේ අවධානය යොමුකළ මට කළගුණ සැළකීමක් ලෙස අගනා බුල්ටො ටොපියක් හිමිවිය.


සීයා මැම්බර් උන්නැහැට කඩේ ගිය අයුරු මීළඟ ලිපියෙන් ලියමි.

Monday, February 8, 2010

සීයා සහ මුණුපුරා

“යටගියදවස බරණැස්නුවර බඹදත් නම් රජ්ජුරු කෙනෙක් රාජ්ජය කොරන සමයෙහි........“සීයා කියවාගෙන ගියේ පන්සියපණස් ජාතක පොතේ කතා වස්තුවකි.

“ටං ටං ටටට ටටං ටං ටං ටටං ටටං ටකටක ටකටක ටටා ටාටා ටාටටටා...“මගේ මොබයිලය නාදවන්නට විය.

අප්පට හුඩු!අපේ කිරි අත්තාගෙන් කෝලයක් එයි.වසර හැටකට පෙර සුවර්ගස්ත වූ කිරි අත්තා මට කතා කොරන්නේ මොන උලව්වකටද?උන්දෑගෙන් කෝලයක් ලැබියයුතු වයසෙහි සිටින්නේ අපේ සීයාය.ඕන මගුලක් කියා මම මොබයිලයට ආන්සර් කෙරුවෙමි.

“අඩා හුජ්ජ කොල්ලා, තොගේ මහ එකීගෙ මහඑකා ඔතන ඉන්නවද?“

ඒ කියන්නේ අපේ සීයා ගැනය.කිරි අත්තා දැන් නම් ට්‍රැක් එකට වැටී ගෙන එන හැඩකි.

“ආ....ඉන්නව කිරි අත්තෙ...“මම මොබයිලය සීයාගේ හස්තප්‍රාප්ත කෙරුවෙමි.

සීයා මීක් සද්දයක් නැතිව මොබයිලය කණතියාගෙන විනාඩි පහක් පමණ සිට ඈනුමක් හැර මගේ මොබයිලය පොළවේ ගැසිය.

උන්දෑටත් සුවර්ගයට ටිකැට් කෑල්ල ඇදී ඇති බව කිරි අත්තා කියන්නට ඇතැයි මම හිතුවෙමි.නමුත් එය සම්පුර්ණ රෝං අයිඩියාවක් බව මට පසුව ප්‍රත්‍යක්ෂ විය.

කිරි අත්තා අපේ සීයාට කිව්වේ කුමන හරුපයක්දැයි කියා මීළඟ ලිපියෙන් ලියන්නට බලාපොරොත්තුවෙමි.

කරුණාවෙන් දැනුම්දීමයි!

පිස්සා වන මම අද සිට මගේ පළා මල්ලේ ඇති කුණුකන්දල් එළියට අදිනබව සකල ලෝ වැසියෝ දනිත්වා.