Thursday, March 18, 2010

[ශ්]රීලා[න්ක්]ඒය්[අ අබ්හ්ඉම්]ආන්[අය්අ] බලාපල්ලා.....

"බොලං කොලුවො,ඔය මළඋලව් ජාතකේ පොඩ්ඩකට නවත්තහං."කියමින් සීයා ඇඳි පුටුව ඇදගෙන හරිබරි ගැහී ඉඳගත්තේය.

අපේ ගෙදර මහ එකා දැන් ගෙදර නැත.මධ්‍යම ප්‍රමාණයට සාරවත් දෙයක් අනුමත කරගෙන එන්නට ගොස්ය.සීයා වනාහි අපේ ගෙදර මහඑකාගේ හෙවත් ගෘහ මූලිකයාගේ ආඩම්බරකාර තාත්තාය.එබැවින් ගෘහ මූලිකයා නැති තැන සීයා නිකම්ම ගෘහ මූලික වෙයි.ගෘහමූලිකයාගේ තීරණය අවසාන තීරණය බැවින් මම කටට පැඩ් ලොක් එක දමාගතිමි.

සීයා ප්ලග් එක ගසා අවලං පෙට්ටිය දැම්මේය.වෙලාව රාත්‍රී අටය.දැං ඉතින් ලයිව්(ෆ්‍රී ඕ ඩයි හාර්ඩ් )ඇට් එයිට් බලන වෙලාවය.ටකරං සද්දයක් දමාගෙන අවලං පෙට්ටිය ඇතුළේ (වෙට්ට)පිත්තල කුරුල්ලෙක් කැරකෙන්නට විය.[ශ්]රීලා[න්ක්]ඒය්[අ අබ්හ්ඉම්]ආන්[අය්අ] යනුවෙන් පසුබිමෙහි සටහන්විය.

ඉන්පසු ලෝක ගෝලය කැරකෙන්නට විය."ලාආයිව් ඈට් ඒ......යිටි....ප්‍රා...යිම් ටා......යිම්" කියමින් අතීසාර රොගියෙක් පසුබිමෙහි විලාප ගසනු ඇසුණි.

"චිකි චිකි චිකි චිකි ටං ටං ටං ටං .......

ආයිත් බොහෝ අං,මම අරින්ඩ ජයලාල්....මම ගුලිකා වණසේකර....

රට වටේ කෙරෙන අවලං වැඩ දැනගන්න සෙට් වෙන්න අපිත් එක්ක...මෙන්න උණු උණුවේ ප්‍රථම කුණු පුවත.මේක දකිනකොට මට නම් බඩ යන තරමට හිනා යනවා.ප්‍රිය හිතවත් බූරු නරඹන්නනි,ඔබත් මෙය බලා හිත පිනවාගන්න....

පසුගියදා අහවල් ගඟේ පාවෙමින් හිටි කිරි සප්පයා නසරානි ලොරි කරුවකු විසින් ගොඩ දැමූ පුවත අපි ඔබට වාර්තා කළෙමු.මෙම නොදරුවාගේ මව් පාර්ශවය අල්ලාගැනීමට අපිත් හවුල් උණා.මේ වනචර ගෘහණිය දෙනෝදාහක් ඇස් කන් පියාගෙන බලාසිටිද්දීම නොදරුවා ගඟට විසිකර තිබෙනවා.ඇය ජීවත්වී තිබෙන්නේ සුනාමි සහන ගම්මානයක බව පැවසෙනවා.දරුවා ගඟට දැම්මේ කන්න දෙන්න නැති නිසාලු.නරඹන්නනි බලංඩ ඉතිං මේ නැහැදිච්ච ගෑනි කරන ප්‍රෝඩාව.සුනාමිය වැදිලා දැන් අවුරුදු හයක් වෙන්නත් ආව.ගෙවල් කැඩිච්ච උන් ඔක්කොටම  දැන් රජමාළිගාවල් කී දාහක් නං හදල දීල තියනවද?ඇරත් රට මැද්දෑවෙ මොන සුනාමි සහන ගම්මානද?ඒව මූද අයිනෙ තියෙන්ඩ එපෑයැ.ඔය නොදරුවට කන්ඩ හොයන එකත් අද කාලෙ මහ කජ්ජක්ද පිනවතුනි.ඇහැට කණට පේන ගෑණුන්ට මේ රටේ රස්සා වැහි වැහැල.පොඩ්ඩක් පාරට බැහැල බලන්ඩ එපෑයැ.මේව දකිනකොට මට හිටගෙනත් බඩ යන්න එනව.

ඉතිං අපි මේ වනචරී හිරේ යවන්ඩ උපරිම සහයෝගය දක්වමු.එතකොට ඕකි ආයෙත් කිරිසප්පයො ගඟට විසිකරන එකක් නෑ.හෝව් පොඩ්ඩක් මෙන්න බලන්න පිංවතුනි අර දහදුරා අවලමීගෙ අනිත් කොලු රෑන.මුන් ටිකත් පරිවාසෙටම දක්කල දාන්න ප්ලෑන් කරගෙන යනව.නැත්තං ඕකුනුත් කරදඬු උස් මහත් වෙනකොට ඔය වගේම වලත්ත වැඩ කරාවි.චියර්ස් කියන්න පිංවතුනි.....

දැං අපි ඉස්පිරිතාලෙට ගිහිල්ල පණ අදින අර නොදරුවගෙ දේහය පොඩ්ඩක් විකුණගන්නයි හදන්නෙ.ඔන්න බලන්න...දැක්ක නේද අලංකාරය.ඔන්න එතකොටම ලොකු නර්ස් නෝන ඔබට කියාදේවි දරුවෙක් ගඟට වැටුණම පණ පිටින් ගොඩදාන ආකාරය.අදම ඔබේ දරුවාත් ගඟට දමා බලන්න.මේ ක්‍රමය සුවර් ඇන් සොට්.එළකිරි වගේ වැඩ.

හික් හික් හික් හික් .......

දැං නං පුතෝ හිනාවෙලා මෙතනම බඩ යන්ඩ ආසන්නයි.මං ටක් ගාල විරාමයක් අරං එන්නං.

ඊට පස්සෙ අපි බලමු එක එක අය එක එක තැන කියන කුණු කතා.

ඒ සමඟම රට තොටේ පුවත් අස්වැන්න නෙළාගෙන අපේ මඩිස්සලේ පුරවගන්නත් බලාපොරොත්තු වෙනව.

එතකං ග්‍රීසි ටීවී පටියෙ ලිස්සන ඇඩ් සමඟ ඉතුරු ටිකෙත් ඇඩ්ම බල බල ඉන්ඩ.

ටං ටං ටං ටං ටං...........
මෙය බලාසිටි මට බඩේ රුදාව සමඟ ඕක්කාරයද හැදී ඇත.

සීයා ද බඩ අල්ලාගෙන පිළිකන්න පැත්තට දිව්වේ හුරේ රන් එකේය

ඔබේ දරුවා මැරෙන්නට යන මොහොතේ වුවත් මෙම හාල්පාරුවන් පැමිණ පුවත් අස්වැන්න නෙළාගෙන යනු ඇත.

චියර්ස් කියන්න පිංවතුනි........

Monday, March 15, 2010

ආතතිනන්ද The last backbone

රජ්ජුරුවන් විසින් ජිල්මාට් දමා තෙමේ පැරැද්දූ නියාද,අකෘතඥ ඌරුවංශයාගේ බස් ගෙන තමාගේ කරපය මස්වාපියන්නට සැරසෙන නියාද පාරම්පරික ශබ්දයෙන් දැනපියා සෙන්පෝකයාත්,වේදේහයාත් ප්‍රමුඛ පිරිස "කුරුඳු විල" නම් රහස්‍ය ස්ථානයෙක සැඟැවීගත්හ.

රජ්ජුරුවෝ වහ වහා ආතතිනන්දයා සමුවී කියන්නාහු"දැන් ඉදින් ජීවිතාලය ඇත්තාහු නම් මා රජවූ නියා හඬගාපියව"යි කීහ.

ආතතිනන්දයා මහාජනයා රැස්කරවාපියා කියන්නාහු

"මා වනාහි ඉතා දුක්ඛිතවැ දිවි ගෙවන්නෙක.මා හට දහහත්වන ව්‍යවස්ථාපිතයෙන් පළඳවාපියන ලද උරචක්‍රමාලය නිසා මම් වනාහි අප්‍රමාණ ආතතියකට පත්වැ ඇත්තෙමි.මේසා මහත් සිංහාසනාවරණයක් පවත්වන්නටැ ගොස් මා විසින් අසනා ලද කුජීත බස් අපමණය.මහරජ්ජුරුවන්ගේ වසළ සේනාව විසින් මාගේ සහචර කොල්ලන්ට පොලු මුගුරු පෑලා උන් ඇම නොමරා මරවාපීය.පොළොස්පතියාද මා අට මෙවිචරකැයි සහයක් නොදුන් විරූය.තවද රජ්ජුරුවන්ගේ අණබෙර පයිංඩය ඉතා නොසණ්ඩාල කම් කටැපියන ලදී.ඒ නොසංඩාලකම් වළකාලනු අටියෙන් මා විසින් නිලකරන ලද දියබරියා විසින් දෙන නියෝග උන් කිසිවෙකුත් නොඇසූ විරූය.ඉදින් මම් ඒ දියබරියා නැවතත් වක්කඩටම මුදාහළෙමි.හුදෙක් සිංහාසනාවරණයෙන් මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම සිංහාසනාරූඪ වන නමුත් එය වනාහි උදක්ම සම්ප්‍රදායානුකූල වනු මිස කිසිසේත් නීත්‍යානුකූල නොවන්නාහුය.මාහට මේ සා මහත් ආතතිය තවදුරටත් දරාගත නොහේ.ම්න් මත්තට ඉදින් ඇතෙක් බරට වස්තුව දුන්නේවී නමුදු මම් නම් මෙවැනී කුජීත ක්‍රියා නොකරමි."යි මහත්කොටැ හඬපීහ.මෙපවත් අසා මහාජනයා කුකුස් උපදවන්නාහු,"කොළ,රජ්ජුරුවන් විසින් අප ඇම වඤ්චාකොටැ ඇති නියායැ"යි සිතුහ.

කලියුගය?

මේ සා මහත් අනුහස් ඇති කෘතගුණ අමුඩය හැඳැපියා රජ්ජුරුවෝ මහාජනයා අමතන්නාහු මෙසේ පැවසූහ.

"මාගේ මුග්ධ රටවැසියනි,තොපි ඇම කිරුබාහරයාගෙන් ගලවාපියන ලද්දේ මම්මය.වැළිත්,මේ මා ඇඟි කර්තව්‍යය කටැපියන්නට යාමේදී මා අට පැමිණි බාධක මෙවිචරකටැයි කිව නොඇක්ක.වෙනෙකෙක් තබා උතුරුකුරු දිවයිනෙහිද මා අට එරෙහිවැ කිරුබාහරයා විසින් සෝලි කරවන ලදී.මම් වනාහි මේ එකදු සෝලියෙක් පයිසයකටවත් මාඉම් නොකොටැ මාගේ කර්තව්‍යය ඉෂ්ඨ කෙළෙමි.තොපි ඇම මාගෙන් වෙන කිසිවක් නොඉල්වූ විරූය.හුදෙක් මා හට කළගුණ සළකාපියව."

තවද පදිරික්කා නම් එක් වෙසඟනෙක් ලවා මෙවැනි ප්‍රවෘත්තියෙක්ද රට පතළකොටැපීය.

"කිරුබාහර සෝලියේ අවසන් භාගයේදී,ඌ තුමූත්,ඌටම කම් කරන්නාවූ මහ නැඩයාත්  පුල්ලි දේවයාත් අප්‍රමාණ මරණ භයට පත්වැ ගොක් කොළයක් පෙරටු කොටැගෙන පැමිණෙන කළැ උන් ඇම සාධාපියවැයි "අන්න පොබය" විසින් මාගේ උප සෙනෙවි ‍කොල්ලෙකුට කියනලදැයි කියා සෙන්පෝකයා අසුවල් ස්ථානයේදී පවසා ඇතැ.හුදෙක් අප නම් එවැනි අපරාධයෙක් නොකළ විරූ නමුත් එවැනි යුද රහසක් හෙළිකොටැපීම නම් මහත්වූ අපරාධයෙක.එයින් අප ඇමගේ සෙළුව හෙළිවන්නේයැ.අප වනාහි කිරුබාහරයා සාධාපියන ලද්දේ මානුෂීය ආකාරයටමය."

තවත් නොඑක් වන්දිභටිටයන් ලවා මෙවැනි චෝදනාවෙක්ද සෙන්පෝකයාට කළේ යැයි දතයුතුය.

"සෙන්පෝකයාගේ බෑණනුවන් වනාහි ධන-ඌනයාය.කිරුබාහර සෝලියේදී සෙනෙවි කොල්ලන්ට රා පෙවීම පිණිසැ හයිය කෝප්ප ගෙන්වීමට භාරගත්තාහු නම් මේ ධන-ඌනයාමය.ඉදින් එහිදී ධන-ඌනයා හයිය කෝප්ප නොගෙන්වා කුඹල් කරුවන් හට අත්ලස් දෙවාපියා කොකු කැඩුණු කෝප්පම ගෙන්වාපීය.මේ වඤ්චාවෙන් මූ තුමූ මෙවිචරකටැයි කිව නොඇකි මහත්වූ ධනස්කන්ධයෙක් උපයාගන්නා ලදහ.මූ වනාහි සොරෙකැ."
මෙසේ ෂඩිවිධ ආකාර ජිල්මාට් යොදාපියා මහාජනයා නොමඟ යවා සිංහාසනාවරණය දින සෙන්පෝකයා පැරැද්දූහ.

Monday, March 8, 2010

කෘතගුණ අමුඩය.

මෙසේ නග්නභාවයට පත්වූ රජ්ජුරුවෝ ප්‍රමුඛ අඳබාලයන් රැළ තම නව උපායමාර්ගයේ තීක්ෂණභාවය පිළිබඳව ගත හිරිපොළා ගියාහු තම සෙළුව පිළිබඳවැ අංශුමාත්‍රවූද අවධානයෙක් නොමැතිව සුරා පානයෙන් මත්වැ නිඝණ්ඨ රැළක් මෙන් සෙළුවෙන්ම නටන්නට පටන්ගත්හ.මෙසේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ නටාපියා අවසන්වැ සිහි එළඹගත්තාහු තම තමා නිරුවත් බව දැන දැනත් අනෙකාගේමැ අසුවල් අවයවයැ පෙන්නාපියා උසුළු විසුළු කරන්නාහ.

"කොල,තොපේ සළුව කොහිදැ?ඉදින් අපිනම් නග්නවැ වෙසෙන්නට විළි ඇත්තම්හ.වහ වහා සළුවක් ඇඳපියව"යයි එකිනෙකාටමැ විසුළු කොටැපියන්නාහ.
මෙවිට උදාසනක් සේමැ රජවාසළ පැමිණියාවූ දොරටු පල්ලෙක් විළි වැදැ තෙළ නිඝණ්ඨ රළ අමතා මෙසේ කියන්නාහ."මහරජ බලුගැත්තා ගැන කමත්වා.මුඹ වහන්සේ ප්‍රමුඛ අසූ කෙළක් අමාත්‍ය මණ්ඩලයේද,ඌරුවංශයාගේද නිරුවත හෙළිවී ඇති නියාය.ඉදින් මහාජනයා කැට මුඟුරු ගෙන අපි ඇම පළවාපියන්නට පෙර යම්තම් වස්ත්‍රයෙක් වත් ඇඳැපීම යුක්තවන්නේනම් මැනැවි".

එකල්හි උන් ඇමගේ පශ්චාත්භාගයන් සීතලවැ ගියාහු මහත්සේ බියපත්වැ තූෂ්ණිම්භූත වූහ.රජ්ජුරුවෝ වහ වහා ඌරුවංශයා විචාරන්නාහු"බලව තගේ නුනුවණකම් නිසා අප ඇමගේ ඇඳිවත ගැලැවුණු නියාය.වහා සුදුසු සළුවක් ගෙන්වාපියා අපට අඳවාපියව.නොඑසේනම් හුණපත්තෙන් මරවා පිටිකරැ ගස්වමි"යි කීහ.

ඌරුවංශයා නොපමාවැ රාජ භාණ්ඩාගාරය විවෘතකරවා සැටකෝටියක් සළු ගෙන්වාපියා රජ්ජුරුවන් විළි වසන්නට තැත්කළමුත් එකදු සළුවෙක් උන් හිණැ නොරැඳෙන්නේය.

එම සළු කිහිපයෙක් වනාහි මෙසේ යයි දතයුතුය.

01.ඒකීය රාජ්‍ය සළුව

02.විදේශ කුමණ්ත්‍රණ සළුව

03.මැදමුලනී චින්තන සළුව

04.පණ ඇති නායකත්ව සළුව

05.සෞඛ්‍ය අභිවෘද්ධි සළුව

06.මරක්කයාගේ පන්කෝටියේ අත්ලස් සළුව

07.කලා අභිවෘද්ධි සළුව  යනාදී වශයෙනි.
මේ කවර සළුව ඇන්දද උන්ගේ සෙළුවමැ පෙනේ.එකල්හි ඌරුවංශයා රජ මාලිගයේ අටු කොණෙක තිබී වියතෙක පමණ ගොරෝසු රෙදිකඬක් සොයාපියා රජ්ජුරුවෝ හැඳවූහ.එයින් යම්තම් උන්ගේ විළි වැසුණු නමුත් එහි සිටි නොඑක් ආකාර මැක්කන් ආදිය කෑමෙන් අසුවල් ස්ථානයේ බලවත් කැසිල්ලක් අටගත්තැයි දතයුතුය.මේ කැසිල්ල කරණකොටැගෙන රජ්ජුරුවෝ මහාජනයා අමතාපියන තැන් වලදී හිටවනමැ දෑසින් කඳුළු වැගිරෙන්නේයැ,හිටිවනමැ නිරුත්තර වන්නේයැ,හිටිවනමැ උන්තැන් අමතකවැ සොළී බසින් රටවැසියා අමතන්නේයැ,හිටිවනමැ කෝප වන්නේයැ.
මේ මහාර්ඝ සළුව වනාහි කෘතගුණ අමුඩය නමි.

Saturday, March 6, 2010

ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?

"ඉදින් මඳකුදු පමා නොවෙව.වහ වහා එ උපායය අප හට හෙළි කිරීම යුක්තය.තගේ උපායයන් වනාහි මේ තාක් අප ඇම සඤ්චාරය කරවා ඇත්තේ මරඋගුලකටැ යන මාවතෙකැයි මා අට දැන් දැන් පෙනෙන්නේය.ඉදින් මෙවර තගේ උපායය සාධනය නොවුවහොත් මම්මැ උපායය සාධනය කොටැපියා තාත් සෙන්පෝකයාත් දෙන්නමෝ කරපය මස්වාපියන්නෙම් වේදැයි"රජ්ජුරුවෝ උදහස්වැ පැවසූහ.

මෙවිට ඌරුවංශයා වහ වහා රජ්ජුරුවන් අස්වසන්නේ"නොබව මැනව මහරජ ජිල්මාට් වනාහි එක් උපක්‍රමයක් නොවේ.ෂඩ්විධ ආකාර උපායය සංකීර්ණයෙකි.අපි ඇම එය ක්‍රියාවට නංවන්නමෝ ඉදින් එකෙක් නැත්නම් අනෙකෙක් ක්‍රියාත්මකවැ සෙන්පෝකයා අපගේ ග්‍රහණයට නතුවනු ඒකාන්තය"යි කීහ.
ජිල්මාට් යනු මෙසේ වූ ක්‍රියා පටිපාටියෙකැයි දතයුතුය.
01.සෙන්පෝකයාට තම ජනප්‍රසාදය වඩාගන්නට නොදී උන් අණබෙර ගසනා තැන්වලම රජ්ජුරුවන්ගේ ගුණ වැනෙන අයුරින් මහත්කොටැ අණබෙර ලැවීම.
02.එකිනෙකට පරස්පර වූ විවිධ චෝදනා එක්සියයක් සෙන්පෝකට එරෙහිව ක්‍රියාත්මක කොටැ ඌ තුමූ අන්දමන්ද කොටැපීම.
03."සෙන්පෝකයා වනාහි උතුරුකුරු දිවයිනෙහි රටවැසියෙකැ.උන්ට මේ රට පාලනය දුන්නාහු නම් උන් මේ රට ද උතුරුකුරු දිවයිනටමැ නතුකොටැපියන්නාහයි" ඒ ඒ තන්හි සෝලි කරවීම.
04.මෙයාතර සිංහාසනාවරණය දින උදාසනක්සේම භක්ෂිශීලයා රහසින්මැ ආතතිනන්දයාගේ කුටියට වැදී පොලු මුගුරු පෑලා ඌ තුමූ අප්‍රමාණ මරණභයට පත්කොටැපියා"කොළ නිවට මහල්ල,ඉදින් සෙන්පෝකයාට නම් ඉතකම් කරන්නට නොසිතව.තොපි හුදෙක් රජ්ජුරුවන්ටම නතුවව.සෙන්පෝකයාගේ ජනප්‍රසාදය මෙතෙකැයි පෙනී පෙනීමැ ගොලුවකු සේ මුවින් නොබැණම සිටුව.ඉදින් සෙන්පෝකයාට පක්ෂග්‍රාහීවූවාහු නම් තා මෙතැනම මරාපියමියි"තර්ජනය කොටැපීම.
05.අපට අසලවූ "මර විණ ශෛලව"නම් සොරදෙටුවා ඇතුළු පිරිසට නොඑක් මච්ඡ මාංස හා රා ආදී කන බොන දෑ දෙවා වේ‍දේහයාගේත් සෞම්‍යවංශිකයාගේත් පිරිස් රැස්වන්නා වූ තැන් බලාපියා උන් ඇම කුපිත කරවා තෙළ ද්‍රෝහින් මරාපියවයි කියා උන් මුදාහැරීම.

06.ඉදින් මේ එකකුත් සාධනය නොවන්නේ නම් ‍,අශීලාචාර චර්යාව කරණකොටැගෙන සෙන්පෝකයා විසින් පශ්චාත්භාගයට පයින්ගසා පන්නා දමනලද,දැන් අප මහරජ්ජුරුවන්ටම කම් කරන්නාවූ මානවඩ්ඪක නම් උපසෙනෙවි කොල්ලා ලවා සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙන්වීම.

යනාදී වශයෙනි.
මෙසේ සෙන්පෝකයාට මරඋගුල අටවාපියන්නාත් හා සමඟම මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ද,ඌරුවංශයාද,අසූ කෙළක් මුග්ධ අමති මණ්ඩලයද මහත් ගර්වයෙන් හැඳසිටි දේශප්‍රේමය නමැති සළුව ගිළිහී උන් ඇමගේ සෙළුව පෙනෙන්නට පටන්ගත්හයි දතයුතුය.

Thursday, March 4, 2010

ආසයි නේ......!!!!

සුබ ආරංචියකි.පිස්සාට තවත් පිස්සෙක් සෙට් වී ඇත.එසේ මෙසේ පිස්සෙක් නොව උපාධිධාරී පිස්සෙකි.වෙනත් පුද්ගලයකු කරන කටයුත්තකට බලහත්කාරයෙන් කඩාවැදී හොඳින් හො නරකින් එය අවසන්කිරීමට වෙර දරන පුද්ගලයකු අවසන් වරට පිස්සාට හමුවූයේ පිස්සා 5 වසරේ ඉගෙනගන්නා කාලයේදීය.ඉන් ඉහළට උගත්කමක් ඇති අය එවැනි අඳබාල ක්‍රියාවන් නොකරනු ඇතැයි පිස්සාගේ කුඩා මොළයට වැටහී තිබුණත් එය හිතළුවක් බව දැන් පිස්සාට වැටහෙයි.එවැනි මන්ද මානසිකයින් උපාධිධාරීන් අතරද සිටින බව පහත සබැඳිය වෙත පිවිසීමේදි ඔබට අවබෝධ වනු ඇත.

http://nadeesthoughts.wordpress.com/2010/03/04/නූතන-උම්මග්ගය-බරණැස්-නුව/
මෙයින් පැහැදිළි වන්නේ එකම දෙයකි.මොහුගේ අභිලාශය හොඳින් හෝ නරකින්  මෙම කතාව අවසන්කර දැමීමයි.කඩිමුඩියේ සරම කැහැපොට ගසාගෙන කතාව බලහත්කාරයෙන් අවසන් කරන්නට යාමේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන ඇති අවස්ථා පාඨකයා විසින් එම ලිපිය කියවීමේදී අවබෝධවනු ඇත.
අද රටට අවශ්‍යවනුයේ මෙවැනි විද්වතුන්ය.මෙවැනි පිටපත් රචකයන්ය.මේ උපාධිධාරී පිස්සා තේරුම්ගතයුතු කරුණු කිහිපයක් ඇත.එනම් ඔබේ පිටපත ලියා අවසන් වුවද මගේ පිටපත තවම අවසන් නැති බවයි.තවද පළාමල්ලේ ඇත්තේ නූතන උම්මග්ග ජාතකය පමණක්ම නොවන බවයි.තවත් බොහෝ කුණු කන්දල්ද,පල් හෑලිද ඇත.ඒවා නිසි කලට එළියට දමමි.මෙම ලිපි වල හොර කොපි,ලිපිය බාගයක් ලියාගෙන යනවිට නොව ඊට පෙරදීම යථෝක්ත උපාධිධාරී පිස්සාගේ මල්ලෙන් හමුවනවානම් වඩා හොඳය.

එසේම ඔහුගේ ලිපියට සබැඳුම් යෙදීමේදී මෙම බ්ලොග් රචකයා කිසිසේත් සම්බන්ධ නැති "පිස්සාගේ ලෝකය" නම් බ්ලොග් අඩවියටද සබැඳුමක් යොදා ඇත.මෙය එම බ්ලොග් රචකයා අනවශ්‍ය අනතුරක හෙලීමකි.පිස්සාගේ ලෝකය ලියන්නේත් පිස්සාගේ පළාමල්ල ලියන්නේත් ලේඛකයන් දෙදෙනකු බව අවබෝධ කරගන්නට මෙම උපාධිධාරී පිස්සා අසමත්ය.

කරනවා නම් මෙන්න උපාධිධාරී පිස්සාට තවත් වැඩක්.මේ දහවල එල්ලානන්ද නම් චීවරධාරියා විසින් රචනා කරනලද "කණපිටක සූත්‍ර දේශනාව" ද මගේ පළාමල්ලේ ඇත.මට වැඩ වැඩි නිසා දැන්මම එය ලියන්නට වෙලාවක් නැත.දැන් ඉතින් ඔබේ බුලත්පයියයද අතගා බලන්න.සමහරවිට එම පොතේ හොර පිටපතක්ද එහි තිබෙන්නට පුළුවන.තිබේනම් අලුත් පිටුවක් ආරම්භකර ලියාතබන්න.

ආසයි නේ ඉතින්......!

Tuesday, March 2, 2010

පිස්සා ලාංකීය සිතුවිලි සමාජයේ ගෞරවණීය සාමාජිකත්වය ලබයි.

අභිනවයෙන් ආරම්භ කරනලද ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයේ සාමාජිකත්වය පිස්සාට හිමිවී ඇත.මෙය ගෞරවණීය සාමාජිකත්වයක් ලෙස පිස්සා අදහයි.මෙම නව සින්ඩිකේටරයේ මුඛ්‍ය පරමාර්ථයන් හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නීති රීති පද්ධති පිස්සාගේ සිත්ගෙන ඇත.නව සින්ඩිකේටරයේ නවමු ගමනට පිස්සාගේ ආශිර්වාදය හිමිවන අතර යහපත් ප්‍රතිපත්ති නොසිඳෙන අයුරින් යන්නාවූ ඉදිරි ගමනකදී ඇතිවන කවරනම් බාධකයකදී වුව ලාංකීය සිතුවිලි සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පිස්සා පෙනීසිට්නු ඇත.

සෙන්පෝක Revolution

කල් යල් බලාපියා ඌරුවංශයාගේ නියමය පරිද්දෙන් රජ්ජුරුවෝ සිංහාසනාවරණයට දින නියම කැරවූහ.ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආතතිනන්ද නම් මහළු පුරුෂයෙකුට පවරන ලදහ.
මෙහිදී කිසිවෙකුත් නොසිතූ විරූ දෙයක් සිදුවිය.එනම් සංසාරගතවැ ජන්මාන්තර වෛරයෙන් පෙළෙන්නාවූ වේදේහයාද,ඝණ්ඨාර භාරකාර සෞම්‍යවඞ්ශිකයාද සෙන්පෝකයාට සහාය පිණිසැ පැමිණියේල.එය කෙසේ සිදුවීදයත් වේදේහයාද,සෞම්‍යවඞ්ශිකයාද ඒඒ තන්හි සිය පිරිස් රැස්කරවාපියා මෙසේ අණබෙරලැවූ යයි දතයුතුය.
"ශරීරයේ අධෝභාගයේ වුවැ මංචාඩියක පමණ වුවැ ඉස්මොළ පිහිටියාවූ මහජනතාව වෙත බුද්ධිගෝචරවය,තෙල සිංහාසනාවරණයෙකැයි තොපි ඇම මුළාකොටැපියා ස්වකීය බඩගෝස්තරවාදී ඨානාන්තරය රැකගන්නට රජතෙමේ මානබලයි.ඉදින් ඒ වළකාපියනු පිණිස තොපි ඇම පරික්ෂ්‍යාකාරීවුව මනාය.අප ඇමගේ මහජන ප්‍රසාදය ලැබපියා උක්තවූ බඩගෝස්තරවාදයෙන් තොපි ඇම ගලවාගනු පිණිස හංස ධජය පෙරැටුකොටැගෙන මහසෙනෙවි සෙන්පෝක තෙමේ පැමිණෙන්නාහ.හුදෙක් උන්හට නතුවව.ඌ තුමූ සිංහාසනාරූඪ වූ ඇසිල්ලෙන් තොපි ඇම සමෘද්ධ කොටැපියනු නියතය."
මේ අසා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ප්‍රමුඛ අසූ කෙළක් ඇමැති මඬුල්ල අත්ලෙන් අත්ල ගසා සෙනෙන්නාහු මෙසේ පරිච්ඡින්න කොටැපීය.
"කොළ මුග්ධ රටවැසියනි,තෙල වේදේහයාත්,සෞම්‍යවඞ්ශිකයාත් ජන්මාන්තරවැ වෛරයෙන් පෙළෙන්නාහ.ඉදින් කිසිකලෙකත් උන් දෙපළ අතර සමඟි සංධියක් ඇතිවිය නොඇක්ක.තොපි මුළානොවව.රජ්ජුරුවෝ වනාහි අතිශය සංවේදි පළපුරුදු එකෙක.උන් වනාහි පාරම්පරකවැ සතළිස්දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු යුවරජකම් කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු රජකම් කොටැ ඇත්තාහ.උන්ගේ පළපුරුද්දැ මහතැ.හුදෙක් මහරජ්ජුරුවන්ටම නතුවව.ඌ තුමූ තොපි ඇම ගසාකාපියනමුත් එය සංවේදීවමැ කරන්නාහ.
මේ සියල්ල අසාපියා මහාජනයා චඤ්චල සිත් ඇත්තාහු.රජ්ජුරුවන්ගේ කවටබස් මරුත්තු නොකොටැ සෙන්පෝකයා පිරිවරාගත්තාහුය.
රජ්ජුරුවෝ මේ බව පාරම්පරික ශබ්දයෙන් දැනපියා මහත් භීතියට පත්වන්නාහු "කොළ දැන් දැන් සෙන්පෝකයාගේ මහජන ප්‍රසාදය වැඩෙන්නේය.තෙල ඌරුවංශයා මා මේ මරඋගුලට අසුකොටැපීය.මෙවිට මා නැතැ.වහ වහා ඌරුවංශයාම කැඳවාපියා කළමනා දන්නෙම්වේදැයි"සිතූහ.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඌරුවංශයා කැඳවා විචාරන්නාහු"ආචාරීනි මුඹගේ උපාය වනාහි දැන් දැන් සාධනය නොවනැ අයුරුය.සෙන්පෝකයා මහාජන ප්‍රසාදය වඩාගෙනැ ඇතැ.මෙවිට අප ඇම කුමක් කරමෝදැයි"ඇසූහ.
මෙවිට ඌරුවංශයා කියන්නාහු"මහරජ තවද ඇම්මුන මැනව.දැන් ඉදින් අප විසින් මණ්ත්‍රණයකොටැපියන ලද අයුරින් රට වැස්සා වඤ්චාකොටැපීම දුෂ්කරය.‍මුඹ වහන්සේගේ බටු මලණු තැන්පත් භක්ෂිශීලයා හා මා හා එක්වැ එක් උපායෙක් සිතාපියන ලදී.මේ හා සමාන අනෙක් උපායෙක් නැතැ.මේ වනාහි ජිල්මාට් නම් උපක්‍රමයෙකැ"යි රජ්ජුරුවෝ අස්වසාපීහ.

Monday, March 1, 2010

ගොක්කොළ න්‍යාය(THE GOK PAPER THEORY)

උත්තර පංචාල නුවරත්,මියුලු නුවරත්,ඒකබලරට සංඛපාල නුවරත් පිළිගත්තාවූ එක් ධර්මතා න්‍යායක් පවතී.එනම් ගොක් ගොළ න්‍යායයි.මෙය කෙසේ නම් න්‍යායක්දයත් මෙය භාවිතයට පැමිණෙනුයේ කිසියම්වූ මනුෂ්‍යයෙකු‍ට ගොක්කොළ පෙනෙන කාලයේදී හෙවත් චුත වීමට ආසන්න කාල පරිච්ඡේදයේදීය.මෙයින් කියැවෙනුයේ කෙසේ නම් කරුණක්දයත් ඉදින් කිසියම් දෙපාර්ශවයක් අතර සෝලියක් අටගෙනැ උනුන් මරාපියාගන්නා කලැ කිසියම් පාර්ශවයෙක් අප්‍රමාණවූ මරණ භයට පැමිණුනාහු දිවිගලවාගනු කැමැත්තේ නම් ගොක්කොළයක් ඔසවා අනෙක් පාර්ශවයට ‍ප්‍රදර්ශනයකොටැපියයුත්තේය.එවිට අනෙක් පාර්ශවය මෙසේ අවබෝධ කොටැ ගැනීම යුක්තය.

ඒ කෙසේදයත්,තෙල නිවටයා වනාහි අප්‍රමාණ මරණභයට පත්වැ ඇත්තාහ.මේ තාක් කල් අප ඇම මරාපියන්නට පාරම්බෑ මුත් දැන් වනාහි මූගේ ශක්තිය සිඳී ගියේල.ඉදින් මූගේ දිවිගලවාපීම නම් යහපතැ.එවිට අප ඇමට කෙළතොළුකම් කටැපියනු පිණිස මූ තුමූ උපයෝගී කොටගතඇක්ක.මූ දැන්ම මරාපීම යුක්තනොවේ.කල්යල් බලාපියා පසුව මරවනු පිණිස මූගේ දිවි ගැලවීම යහපතැයි යනුවෙනි.

මෙම න්‍යාය කවර ආකාර බුද්ධිමතකුගේ අදහසක්ද යත්,අන් කිසිවෙකු නොව අප මහරජාණන් විසින්මැ සිතාපියා පරිච්ඡින්නකොටැ කෝලිත පහන නම් විධග්ද ,මුග්ධ පුරුෂයකු ලවා පුස්කොලයෙහි ලියවා අටළොස් වරක්ම කළුමැදපියන ලද්දකැයි දතයුතුය.